ගමත් , නගරයත් අඳුර ආලේපන කරද්දී,
කණාමැදිරියන් සේ සමහරක් තැන් පමණක් ආලෝකමත් වුණා…!
මේ හදිසි විදුලි කප්පාදුව නිසා බොහෝ මිනිසුන්ට බොහොමයක් ප්‍රශ්න
මුදලාලිවරුන් ඉටිපන්දම් පෙට්ටිවල දූවිලි ගසලා අරගෙන
මේසේ ඉස්සරහ ලෑස්ති කර ගත්තා.
පොහොසතුන් ජෙනරේටර් වලට ජීවය දුන්නා .
සමහරක් මිනිසුන් කඩ පිල් වලට එක්රැස් වුනා .
ඇතැමුන් , බොරු පොරොන්දු දුන් රජයට බැන වදිමින් කාලය ගෙවා දැම්ම ,
රටේ ප්‍රධානතම ස්විචය විසන්ධි කලබව කියමින් විදුලිබල ඇමැතිටත් බැන වැදුනා
ශීතකරණ පහසුකම් නොමැති අය
අල්ලපු ගෙදරට දී තිබුන මස් හා මාළු ව්‍යංජන නැවත ලබා ගත්ත ..
වායු සමීකරණ වලම ඉපදිලා, ජීවත් වෙන්න පුරුදු වුණ අයට නම් තත්වය තවත් නරකයි .
ඔවුන් බොහෝදෙනෙකුගේ රාත්‍රී ආහාරය පානුයි, ජැමුයි, බටරුයි බවට පත්වෙලා .
“සෙම්බරුත්ති” ටෙලි නාට්‍යයෙහි පාර්වතී හා “යාරඩී නී මෝහිනී ” ටෙලිනාට්‍යයෙහි වෙන්නිලා ගැන සිතාගෙන සමහරක් අය දුකින් කල්පනා කරමින් නිදා ගත්තා.
මේ කිසිම දෙයකින් බලපෑමක් ඇති නොවුණු දැරියක්
හැමදාකම වගේ අදත් භූමිතෙල් ලාම්පුව දල්වාගෙන පාඩම් කරන්න සූදානම් වුණා.
කඳුකර නිවාස පේලියේ ඒ අන්තිම නිවස
හැමදාම වගේ නිහඬව තිබුණා,
හැබැයි ආලෝකමත්ව…

