වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් එක්සත් ජනපදයේ Trans American Customhouse brokers LLC සමාගමේ පූර්ණ කොටස් අයිතිය අත්පත් කර ගෙන තිබේ. ඒ සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන EFL Global LLC (EFL USA) හරහා යි.
පසුගිය පෙබරවාරි 24 දින සිදුකරන ලද මෙම ගනුදෙනුවට අනුව Trans American Customhouse brokers LLC හි 100% ක කොටස් හිමිකාරීත්වය එක්සත් ජනපද ඩොලර් මිලියන 42.5 කට EFL Global LLC (EFL USA) විසින් මිල දී ගෙන තිබේ.

1984 දී පිහිටුවන ලද Trans American සමූහය, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්රමුඛ පෙළේ සන්නාම රැසකට සේවා සපයන වසර 40කට ආසන්න ඉතිහාසයක් ඇති උතුරු ඇමරිකාවේ ප්රමුඛ පෙළේ රේගු නිවාස තැරැව්කරුවෙකි (Customs House Broker).
මෙම අත්පත් කර ගැනීම මගින් EFL හට සිය තැරැව්කාර සේවාවන් එහි පවතින පාරිභෝගික පදනම දක්වා ව්‍යාප්ත කිරීමට හැකි වන අතර එමඟින් දැනට සිටින පාරිභෝගිකයින්ට සේවා කළඹ වැඩිදියුණු කිරීම, එහි පාරිභෝගික පදනම පුළුල් කිරීම සහ උතුරු ඇමරිකාව පුරා සිය මෙහෙයුම් දියත් කිරීම සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත.
මීට පෙර අවස්ථා කිහිපයක් දීම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් විසින් එක්සත් ජනපදයේ සමාගම් කිහිපයක්ම හිමිකාරීත්වය අත්පත් කර ගනු ලැබීය. එක්සත් ජනපදයේ Complete Transport System LLC, IDEA Logistics LLC, Seville Container Freight Station Inc., Seville Freight Systems Inc., සහ Seville Transfer Ltd එම සමාගම් වේ.
එක්ස්පෝලංකා හොල්ඩිංස් පීඑල්සී ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වන අතර අද (27) දින වන විට එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 351 ක් වේ.

