Wednesday, July 15, 2026
Homeපුවත්ලෝක ආගමික නායකයන්ගේ බුහුමන් ලබන බානගල නා හිමියෝ

ලෝක ආගමික නායකයන්ගේ බුහුමන් ලබන බානගල නා හිමියෝ

-

(2025 ජනවාරි 05 වෙනි දිනට යෙදෙන බානගල උපතිස්ස හිමියන්ගේ 75 වන ජන්ම දිනයට සුභාශිංෂණ.)

දකුණු ලක මොරවක් කෝරලේ බානගල ජාසිං ලියනගේ දොන් හෙන්ද්‍රික් ජයසේන මහතාට සහ අම්පාගොඩ ලියනගේ ප්‍රේමවතී මහත්මියගේ නව දෙනෙක් පවුලේ හත්වැනි දරුවා ලෙස මෙම පුණ්‍යවන්ත දරුවා උපත ලැබූවේ1950 ජනවාරි 05 දීය.

ජයසේන මහතාගේ වැඩිමහල් සොයුරු වන බානගල සීලරත්න හිමියන් ගෙන් කළ ඉල්ලීමකට අනුව උන් වහන්සේ මෙම දරුවාට පරම්පරා නාමයද පෙරදැරිව ජයසේන ලියනගේ දොන් හෙන්ද්‍රික් උපතිස්ස යන නම තැබීය.
උපතිස්ස යනු සැරියුත් මහරහතන් වහන්සේගේ ගිහි නමයි.දෛවය තීරණය කර තිබුණා මෙන් අද වන විට සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා ලෝකයේ වැඩ සිටින ස්ථාන තුනෙන් (සාංචිය,කොළඹ හා බුරුමයේ රැන්ගුන් නුවර) සාංචිය සහ කොළඹ ස්ථාන දෙකේම අධිපතිත්වය දරන්නේ බානගල හාමුදුරුවන්ය.


බානගල ප්‍රාථමික විද්‍යාලයෙන් හා අලපලාදෙනිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ උපතිස්ස දරුවා,සිය මහප්පා වූ බානගල සීලරතන හිමියන්ගේ මග පෙන්වීම යටතේ මැටිවල සංඝරතන හිමියන්ගේ සහ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියන් වෙතින්ම පැවිදි දිවියට එක්විය.ඒ 1967. ඔක්තෝම්බර් 19 දිනය.

ඊට පෙර ඔහු 1961 දී දඹදිව සාරනාත් වෙත ගොස් එහි මහාබෝධි විද්‍යාලයෙන් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන හින්දි භාෂාව මැනවින් ඉගෙන ගත්තේය. හැඩිගල්ලේ නායක හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි 1967 දී ඉන්දියාවේ සාංචි විහාරයේ වැඩ කටයුතු බාරගත් බානගල හාමුදුරුවෝ,ඒ අතරදීම සාංචි රජයේ උසස් ද්විතීක පාසලට ඇතුළත්ව හින්දි සහ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගෙන විදිසා හි S.S.L. Jain College වෙත ඇතුල් වී අධ්‍යාපන කටයුතු කරගෙන ගියේය.ඉන්පසු බෝපාල් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය.

1970 ජූලි 05 දින අධි සංඛ්‍යාත උපසම්පදා ශීලයේ පිහිටුවමින් උන්වහන්සේ උපසම්පදාව ලැබූහ.1976 දී හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියන් සමග ජපානයේ සංචාරයක නිරත වූ බානගල හාමුදුරුවෝ ඊට වසර කිහිපයකට පෙර සාංචියේදී හමුවී දැන හඳුනාගත් තකිකෝ යෝෂිඩා මැතිනිය හමුවී තමන්ට ජපන් භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය බව සැල කර සිටියහ.මේ හමුවීම ලංකාවෙත් ජපානයේත් බානගල හාමුදුරුවන්ගෙත් ඉතිහාසය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියවීමට සමත් විය.


මවක මෙන් බානගල හාමුදුරුවන් රැකබලා ගත් යොෂීඩා මැතිනිය ,උන් වහන්සේගේ ලොකුම ප්‍රාර්ථනාව වූ ධර්මපාල තුමන්ට ඉටු කරගත නොහැකි වූ ප්‍රාර්ථනාව වූ ලාංකේය ථේරවාදී බෞද්ධ සිද්ධස්ථානයක් ජපානයේ ඉදිකිරීමට උපරිම සහයෝගය ලබාදීම නිසා 1984 මැයි මාසයේ ජපානයේ ලංකා ජී විහාරය ඇරඹීමට බානගල හිමියන්ට හැකි විය.අවුරුදු දහස් ගණනකට පෙර සිට මහායාන බුදු දහම පැතිරී ගිය ජපානයේ ඉදි වූ ප්‍රථම ථේරවාදී විහාරය ලංකා ජී විහාරයයි.එසේම ජපානය ඉදි වූ ප්‍රථම ථේරවාදී චෛත්‍යය ඉදි වූයේ ද සවරා ලංකා ජී විහාරයේය.
පසුව යොෂීඩා මැතිනියගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරට ප්‍රථම ලොව විශිෂ්ටතම පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපනය හෙවත් පෙර පාසල් අධ්‍යාපනය ඇති ජපන් සම්ප්‍රදායේ පෙර පාසල 1979 සපුගස්කන්දේ යොෂීඩා පෙර පාසල ආරම්භ කරනු ලැබීය. ජපානයේ දී බානගල හිමියන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ ද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳවය. ජපානයේ දානපතියන්ගේ ආධාර ඇතුව පසුව ලංකාව පුරාම එවැනි පෙරපාසල් ආරම්භ කිරීමට බානගල හාමුදුරුවෝ කටයුතු කළහ.ඒ සාර්ථකත්වය නිසා පසු කලෙක ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමටද එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇරයුමෙන් උන් වහන්සේ මැදිහත් වූහ.එසේම ජපන් දානපතියන්ගේ ආධාරයත්ව ලංකාවේ උදා කළ ගම්මාන රැසක් ඉදිකිරීමටද උන් වහන්සේට හැකි විය.


2000 දී මහාබෝධි සංගමයේ සභාපති ධුරයට පත් උන් වහන්සේ ඒ තුළින් මෙරටට සහා බෞද්ධ ලෝකයට කළ සේවය අපමණය.
උන් වහන්සේ සහභාගී වූ ලෝක බෞද්ධ හා වෙනත් ආගමික සමුළු සංඛ්‍යාව දෙසියකට ආසන්නය උන්වහන්සේය.විශේෂයෙන් සෞදි අරාබියට වැඩම කළ ප්‍රථම බෞද්ධ භික්‍ෂුව ද,ඉරානය ආධ්‍යාත්මික නායකතුමන් (2008) හමු වූ ප්‍රථම බෞද්ධ භික්‍ෂුව ද උන් වහන්සේය.
2007 වර්ෂයේ දී ශුද්ධෝත්තම 16 බෙන්ඩික් පාප් වහන්සේ හමුවීම ද 2015 දී මෙරටට සැපත් වූ ශුද්ධෝත්ම ප්‍රැන්සිස් පාප් වහන්සේ මලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයට සැපත් වී උන් වහන්සේ හමුවීම ද දකුණු අප්‍රිකාවේ මහා සාම ක්‍රියාකාරිකයකු වන මයිකල් ලැප්ස්ලි පියතුමන් හමුවීමද ඉන්දියාවේ ස්වාමී දයානන්ද් සරස්වතීතුමන් (2010) 2009 වසරේදී ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමා හමුවීම ද 2014 වසරේ දී ශ්‍රී ශ්‍රී රවිශංකර්තුමන් හමුවීමද ලෝක ආගමික සහජීවනය වෙනුවෙන් කටයුතු කිරීමේ දී සුවිශේෂ සලකුණු විය.

අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඉන්දියාවේ මුද්දරයක් නිකුත් කිරීම (විදේශිකයකු වෙනුවෙන් ඉන්දියාවෙන් නිකුත් කළ ප්‍රථම මුද්දරය),ඉන්දියාවේ රුපියල් දෙසීය නෝට්ටුවේ සාංචි පුදබිම ඇතුළත් කිරීම (ඉන්දියාවේ මුදල් නෝට්ටුවක සඳහන්ව ඇති එකම ආගමක ස්ථානය) සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා තායිලන්තයට වැඩම කරවීම ද උන් වහන්සේ ලද සුවිශේෂ ජයග්‍රහණයන් වේ.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්, පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ⁣ෂෙරිෆ් මැතිතුමන්,භූතාන,ඉරාන හිටපු අගමැතිවරුන්,සීෂෙල්ස් රාජ්‍යයේ නිර්මාතෘ ජනාධිපති ජේම්ස් ආර් මැන්චම් මැතිතුමා වැනි රාජ්‍ය නායකයන් සමග සමීපව කටයුතු කරමින් රට රටවල් අතර ආගමික හා සංස්කෘතික බැඳීම ප්‍රවර්ධනයට උන් වහන්සේ විවිධ ක්‍රියාමාර්ග ගත්හ.
උන් වහන්සේ මෙරටට කළ මහා මෙහෙවර,රාජ්‍ය නායකයෙකුවත් නොකළ තරම්ය.මීගමුවේ රුක්මණී දේවි රංග ශාලාව ඉදිකිරීම,පැරැලිය සුනාමි ස්මාරකය සහ සුනාමියෙන් විනාශ වූ ප්‍රදේශ සංවර්ධනය කිරීම,යොෂීඩා ජාත්‍යන්තර පාසල ඇරඹීම, වාර්ෂිකව සාංචිමේලා ලෙස පැවති අග්‍රශ්‍රාවක ධාතු වන්දනාව සාංචි “මහාබෝධි මහෝත්සවය” ලෙස නම් කිරීම,සාංචි බෞද්ධ විශ්ව විද්‍යාලය ආරම්භ කිරීම,සාංචි දුම්රියපොළ පාර “හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමි මාවත” ලෙස නම් කිරීම,වියට්නාමයේ බෝධිචිත්තා තෙරණිය සාංචි චේතියගිරි විහාරයේ සම්මානිත විහාරාධිපතිනිය ලෙස පත්කිරීම,බානගල සීලරත්න පිරිවෙනේ සාමණේර භික්ෂූන් වහන්සේලා සියයකට ආසන්න ප්‍රමාණයක් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා පුහුණු කිරීම,යුද සමය යුධ බිමට ගොස් දෙපාර්ශ්ව අතර සාමය සඳහා ඇති ලැදියාව ප්‍රවර්ධනය කිරීම,අවි නිහඬ වීමෙන් පසු වවුනියාවේ අවතැන් කඳවුරුවල සිටි දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට කටයුතු සැලැස්වීම,උතුරේ සහ දකුණේ තරුණයන් එකිනෙකා මුණගස්වමින් සාමය සඳහා ඔවුන්ගේ හදවත් පෙළගැස්වීම, තුන්සියයකට ආසන්න පිරිසකට එකවර නවාතැන් ගත හැකිවන පරිදි නව සාංචි වන්දනා නිකේතනය ඉදිකිරීම,”සිංහල බෞද්ධයා” පුවත්පත නැවත ඇරැඹීම,චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම,සාංචියට අංග සම්පූර්ණ රෝහලක් ලබා ගැනීම,සාංචි දුම්රිය ස්ථානය මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම,සපුගස්කන්ද විශාඛා විද්‍යාලයට රංග ශාලාවක් ඉදිකරදීම,ඉංග්‍රීසි සිංහල ද්වි භාෂා පෙර පාසලක් ලෙස සංවර්ධනය කිරීම වැනි බොහෝ දෑ උන් වහන්සේ මේ 75 වසරක ජීවිතය තුළ මෙරට ඉන්දියාවේ සහ ලෝකවාසී ජනතාවට සිය සේවාවන් ලෙස ඉටු කළහ.
උන් වහන්සේ වෙනුවෙන් මේ වන විට ග්‍රන්ථ කීපයක්ම රචනා වී ඇත.ඊට අමතරව උන් වහන්සේගේ ඉන්දියානු ජීවිතය පදනම් කරගනිමින් මේ වන විට ඉන්දියාවේ චිත්‍රපටයක් ද නිර්මාණය කිරීමේ කටයුතුවලට මුල පුරා ඇත.
නොපසුබස්නා උත්සාහය,බාරගත් වැඩේ කෙසේ හෝ ඉටු කිරීම,ආරම්භ කළ කාර්ය අනිවාර්යෙන්ම අවසන් කිරීම,රැවටීම සහ වංචාව බරපතල ලෙස ප්‍රතික්ෂේප කිරීම, සිංහල, ඉංග්‍රීසි, හින්දි,ජපන් චතුර ලෙස කතා කිරීමේ හැකියාව තුළින් අතිදක්ෂ සන්නිවේදකයෙකුවීම උන් වහන්සේගේ මෙම සාර්ථක ජීවිතයේ පදනම් වේ.
තවත් චිරාත් කාලයක් උන්වහන්සේගේ සේවය මෙරටටත් ලෝක ලෝකවාසීන්ටත් ලබාදීමට අපගේ ගුරුදේවෝත්තම බානගල උපතිස්ස නා හිමියන්ට නිදුක් නිරෝගී සුවය සමඟින් චිර ජීවනය උදාවේවා.

රාජකීය පණ්ඩිත
උඩුගම තපස්සි හිමියෝ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular